Tuesday, May 31, 2016


හරි අමුතු පාලනය.......







           ඊයේ ඒ කියන්නෙ මැයි 30 වෙනිදා රෑ ප්‍රවෘත්ති බලද්දි මට පුදුම හිතුණා.....ඒ එක්තරා මහජන නියෝජිතයෙක් කරපු ප්‍රකාශයක් අහලා. ඒ ජෝන් අමරතුංග මහතා ගලේවෙල වහකෝට්ටෙ කිතුණු පල්ලියේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තමයි මේ ප්‍රකාශය කළේ.

        ඔහු කියනවා කාර් වල මිල වැඩි කළේ අවශ්‍ය කෙනායි, අවශ්‍ය නැති කෙනායි හැමෝ ම වාහන ගන්න එක නතර කරන්නලු. මෝටර් රථ මිලදී ගත යුත්තේ රැකියාව අනුවලු. මට තියෙන ගැටළුව තමයි මෙහෙම ප්‍රකාශ ප්‍රසිද්ධ මාධ්‍ය වෙතටත් නිකුත් කරන මහජන නියෝජිතයෝ ඉද්දි මේක ප්‍රජාතන්න්‍රවාදී රටක් කියලා හදුන්වන්නෙ කොහොමද කියන එකයි.

           රැකියාව, අාර්ථික හැකියාවන් මත සමාජ පැළැන්තිය තීරණය වෙන එක අැත්ත. ඒත් යහ පාලන රජය බලයට පත්වුනේ මේ කියන අැති නැති පරතරය නැති කරනවයි කියන පොරොන්දුව මතයි කියන එක දැන් ඔවුන්ට අමතකයි.

              රටේ රථ වාහන තදබදයක් පවතින එක අැත්ත වෙන්න පුළුවන් ඒත් ඒ සඳහා ගේන්න පුළුවන් හොඳ විසඳුමක් විදිහට මේක හඳුන්වන්න කිසි සේත්ම බැහැ. හැම අාර්ථික පසුබෑමක්ම, පරිහානියක්ම පියවීමෙදි වැඩි බරක් අදින්නෙ මේ රටේ දුප්පත් මිනිස්සු. පෝසත්තු නෙවෙයි. එහෙව් එකේ ඒ මිනිස්සුන්ට පුංචිම හරි සතුටක්, සහනයක් ගෙනාවට පව් සිද්ධවෙන එකක් නෑ නේද? ඉහළ පැළැන්තියේ එක් පුද්ගලයෙක් විසින් සුපිරිවාහන කීයක් පරිහරණය කරනවාද? 

පුංචි මිනිහාගෙම ඡන්ද වලින් ඉහළට ගිහින් ඒ මිනිහාවම අල්ලගෙන මේ විදිහට පාගන්නෙ අැයි? 

මේ දේශපාලන සංස්කෘතියම තව දුරටත් පැවතුනෝතින් මේ රටට සිද්ධ වෙන්නේ මහා විපත්තියක්.  

Tuesday, May 24, 2016


ජීවිතයේ සැබෑ අරුත සිහි කැන්දූ මෙදා වෙසක්......


මෙදා පාර අපි කාටත් වෙසක් වල සැබෑම අරුත වටහා ගන්න අවස්තාව ලැබුණා කිව්වොත් ඔයාල මාත් ක්ක යි නේද?
අපේ රටේ මිනිස්සුන්ගෙ අාගන්තුක සත්කාර ඉහළයි කියල පිට රට්ටුත් කියනවනේ.
අපේම කෙනෙකුට දුකක් කරදරයක් උණාම පිහිට වෙන්න නොපැකිළිව ඉදිරිපත්වෙන මිනිස්සු තවමත් මෙහෙ ඉන්නවා. හෙම නේද?
අරනායක නාය ගියා,කොළඹ අවට ප්‍රදේශ රැසක් ගං වතුරින් යට උණා. මේ වගේ කරදර ගොඩකට විවිධ ප්‍රදේශ වල ජනතාවට මුහුණ දෙන්න සිද්ධ උණානෙ.
හැමෝටම පුළුවන් විදිහට උපකාර කළා. ඒක අපි මාධ්‍ය වලිනුත් දැක්කනේ.
හමුදාවෙ අපේ රණ විරුවො විශාල කැපවීමකින් විපතට පත්වෙච්චි අයට උපකාර කළා. සිරස, ස්වර්ණවාහිනිය, දෙරණ වගේ මාධ්‍ය අායතන ලංකාවෙ හැමතැනින්ම අාධාර රැස් කරලා විපතට පත් වෙච්චි අයට ලබා දුන්නා. කෑම උයල ගෙනින් දෙන්න පවා වැඩ පිළිවෙළ සංවිධානය කරා. අපේ මිනිස්සු හුගදෙනෙක් පුළුවන් විදිහට උදව් කළා.උදේ වැඩට ද්දි වැඩිපුර කෑම පාර්සල් ගෙනැල්ලා කොටුවෙ ස්ටේෂමේ රැස් කළා. හැම ගමකම වගේ රැදිපිළි, වියළි සලාක, පානීය ජලය වගේ දේවල් පවා කතු කරලා ගෙනින් දුන්නා. ඒ අතර face book වගේ සමාජ මාධ්‍ය යොදාගෙනත් මේ සහන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරනවා අපි දැක්කා. වෙසක් පෝයට සංවිධානය කරපු දන්සල් අවලංගු කරලා ඒ මුදල් වලින් සහනාධාර ගෙනිල්ලා විපතට පත්වෙලා අැදි වත විතරක් ඉතුරුවෙලා හිටපු මිනිස්සුන්ට නැගිටින්න අත දෙන්න තරම් අපේ රටේ පරිත්‍යාගශීලීන් ඉන්නවා කියන්නෙ මොන තරම් සතුටක්ද........
ඒ අතරෙ දැකපු තවති විශේෂම දෙයක් තමයි ගංවතුරෙ ගහගෙන යන පූසො, බල්ලො වගේ සත්තු පවා බේරගන්න තරම් මනුස්සකම දන්න මිනිස්සුත් අපි දැක්කා.
මේ දේවල් දකිද්දි, අහද්දි ලංකාවෙ මිනිස්සු මොන තරම් පරිත්‍යාගශීලී ද කියල හිතෙනවා.
හැබැයි යාළුවනේ කණගාටුව කාරණාත් සිද්ධ නොවුණාම නෙමෙයි.
විපතට පත්වෙච්ච අයට වැඩිපුරම තිබුණ බය තමයි ගෙයින් ඉවත් උණාම ඒකෙ තියෙණ බඩු හොරු, මංකොල්ල කාරයො ගනීවි කියලා.
අනේ එහෙම දේවළුත් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවද කියලා සමහර අයට පුදුමත් හිතෙනව අැති නේද? හරියට ගහෙන් වැටුණ මිනිහට ගොනා අනිනව වගේ.......
අැත්තටම එහෙම අයත් ඉන්නවා. ඒ වගේම අපේ සමහර දේශපාලඥයොත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදපු හැටි ඔයිලත් දකින්න අැතිනෙ.....
කොච්චර පරිත්‍යාගශීලී මිනිස්සු හිටියත් අවස්ථාවාදී මිනිස්සුත් ඉන්නවා ඉතිං.
ඒක ලෝක ස්වභාවය කියල තමයි හිතන්න වෙන්නෙ. එහෙම දේවල් කරල අායෙත් මනුෂ්‍ය අාත්මයක් නම් පතන්න බැරි වෙයි. එහෙම නේද යාළුවනේ ?


Sunday, May 1, 2016

සා දුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්.......






      මැයි පළමුවැනිදාමැයි දිනය ලෙසද සැලකෙන අතර එය ලෝක කම්කරුවන්ගේ දිනය ලෙස සැලකේ. මීට සතවර්ෂයකට එපිට කාලයක් දක්වා විහිදෙන මැයි දින ඉතිහාසය ලෝකය ට මතක් කර දෙන්නේ වැඩකරන ජනතාව යනුවෙන් පිරිසක්ද සමාජය තුළ වෙසෙන බවයි. මැයි දිනය ආරම්භ වූයේ 1886 වර්ෂයේදී ඇමරිකාවේ හේමාකට් චතුරස්‍රයේදීය. ඒ 65,000 කට අධික වැඩකරන ජනතාවක්, පැය 8 ක වැඩමුරයක් ඉල්ලාය. කම්කරු ජනතාවගේ මෙම ඉල්ලීමට එකග නොවූ චිකාගෝ කර්මාන්ත ශාලා හිමියන් තම කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කිරීම නිසා තත්ත්වය උණුසුම් විය. හාම්පුතුන්ගේ දරදඬු පාලනයට විරුද්ධ වූ කම්කරු ජනතාව පෙළපාලි දැක් වූ නිසා ඔවුන්ගෙන් සිව් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත් වූහ. මේ නිසා ආවේගයට පත් දහස් ගණන් වන ජනයා චිකාගෝ හේමාකට් චතුරස්‍රයට ගලා එන්නට පටන් ගත්හ. මෙසේ රැස් වූ ජනයා අයුක්තියට අසාධාරණයට එරෙහිව පෙළ ගැසුණු අතර මිනීමරුවන් පෙන්වා දඬුවම් කරන්නැයි රාජ්‍ය පාලකයන්ගෙන් ඉල්ලා සිටියේය. මේ අතරතුර පොලිස් ඔත්තුකරුවෙකු එල්ල කළ බෝම්බයකට හසුව පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මරුමුවට පත්වූහ. මෙයින් පසු පොලීසියේ තුවක්කුද නැවත ජනතාවට එල්ල විය. එයින් කීප දෙනෙකු මරණයට පත් වූ අතර එහි සිටි දෙසීයකට අධික පිරිසක් තුවාල ලැබූහ. මෙම සිද්ධිය වාසියට හරවා ගත් චිකාගෝ පොලීසිය කම්කරු නායකයින්ට දඬුවම් කළ අතර කම්කරු නායකයෝ සිව් දෙනෙකුට මරණ දඬුවමද දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමද පැනවූහ.සංවිධානාත්මකව සිදු වූ කම්කරුවන්ගේ ප්‍රථම අරගලය ලෙස වාර්තා වන මෙම සිදුවීම පාදක කර ගනිමින් එලෙස ජීවිතය පූජා කළ තම සගයින් සිහිවීම පිණිස ආරම්භ වූ කම්කරු දිනය පසුව ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කෙරිණි. 


      කම්කරු අයිතීන් වෙනුවෙන් සටන් වැද ජීවිත පුදා දිනාගත් අයිතීන් සුරක්‌ෂිත කරනු පිණිස මෙන්ම ඒ වෙනුවෙන් තම දිවිය පූජා කළාවූ සටන් සගයන් සිහිකිරීම පිණිස ලොව වටා කම්කරුවන් විසින් මහත් අභිමානයෙන් සමරනු ලබන කම්කරු දිනය යෙදී ඇත්තේ සෑම වසරකම මැයි මස පළමු වැනිදා බැවින් එය සමහරු විසින් කම්කරු දිනය ලෙසටත් සමහරු විසින් මැයි දිනය ලෙසටත් හැඳින්වීමට පුරුදු වී ඇත. කොයි ලෙසකින් හැඳින්වූවද මෙම දිනය වැඩකරන ජනතාවට ඉතාමත් සුවිශේෂී දිනයකි. සියලු වැඩකරන ජනතාව එක්‌රොක්‌ වී වීදිබැස තමන්ගේ ශක්‌තිය, ජවය මුදාහරින්නේ එදිනය.     ශ්‍රී ලංකාවේ මැයි දින  ඉතිහාසය 1926 වර්ෂයේ මැයි දිනය කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එදා මැයි දිනය, මැයි පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට ක්‍රීඩා උපකරණ තෑගි ලෙස ලබා දුන්නේය. මෙම මැයි පෙළපාලිය පාලනය සඳහා කම්කරු පොලිස් හමුදාවක් යොදා තිබුණු අතර මත්පැන් පානයද තහනම් විය. සැබවින්ම එය විනය ගරුක කම්කරු උළෙලක් විය.     වර්තමානය වන විට ලංකාවේ මැයි දිනය ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් තම පක්ෂයට අැති ශක්තිය ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ලෙස දැවැන්ත පෙළපාලි සංවිධානය කරනු දක්නට ලැබේ. නමුත් සැබැවින්ම සිදුවිය යුත්තේ කම්කරුවාට අැති දහසකුත් ගැටලු, අර්බුද, දුෂ්කරතා අාදිය හදුනාගෙන වි‍‍‍‍‍‍වන ජීවිතය විඳින්නට ඔවුන්ටද අවස්ථාව ලබා දීම බව අවබෝධ කර ගැනීම නොවේ ද? ඔවුන්ටද හඩ නැගීමට අවස්ථාවන් උදා කර දීම නොවේ ද? කම්කරුවාට හිමි එකම දිනයද ඔවුන්ට අහිමි වී යන සෙයක් පවතියි.එසේ නොවී කම්කරුවාටද ගරු කරන සමාජයකට පිය මැනීමට කාලයයි මේ.....