Sunday, January 31, 2016

දෙමටගොඩ සිදුවීම


vසිදුවීම -
   දෙමටගොඩ දී තරුණයෙකු පැහැර ගැනීම.

v තොරා ගත් මාධ්‍යයන් -
   2015/12/30 වන දින පළ වූ දිනමිණ පුවත්පත සහ
   2015/12/29 දින විකාශය වූ රාත‍්‍රී හත හිරු ටී.වී. ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය

v ප‍්‍රවෘත්තියේ සාරාංශය - 
               ඉකුත් 23 දින දෙමටගොඩ ප‍්‍රදේශයේ රෙදි පිළි වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් පහර දී ඇත. එම පුද්ගලයාගේ ප‍්‍රකාශය අනුව තමාට පහර දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියගේ ආරක්ෂකයින් විසින් ය. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන්  පුද්ගලයන් හය දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන(ජනවාරි) මස හතර වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

          ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක ජනතාවට නිදහසේ තොරතුරු අදහස් ප‍්‍රකාශ කිරීමට සේම සත්‍යය තොරතුරු දැනගැනීම සඳහා අයිතිවාසිකම් පවතීයි. ඒ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගෙන ඇති අතර ශී‍්‍ර ලංකාවේ ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන් වන පරිච්ජේදයෙන් තහවුරු කර ඇත. තොරතුරු දැනගැනීම සඳහා සාධාරණ හා අපක්ෂපාතී ජනමාධ්‍යක පැවැත්ම රටකට බෙහෙවින් වැදගත් වේ. මතුපටින් එසේ පෙනුන ද ජනමාධ්‍යයන්හි ප‍්‍රයෝගික ක‍්‍රියාකාරීත්වය දෙස අවධානය යොමු කිරීමෙන් ජනමාධ්‍ය සතුව මෙවන් පැවැත්මක් ඇත්ද යන්න විමසා බැලිය යුතු වැදගත් කරුණකි. එහි දී ජනමාධ්‍ය මගින් ඉටු කරනු ලබන මූලික කාර්යයන් පිළිබඳව ප‍්‍රථමයෙන් අවධානය යොමු කිරීම යෝග්‍ය වේ.

             o   තොරතුරු සම්පාදනය - Information    
             o   අධ්‍යාපනය - Education
             o   විනෝදාස්වාදය - Entertainment
             o   විවිධ න්‍යාය පත‍්‍ර සැකසීම - Agenda Platform

          යන කාර්යයන් මූලිකව තවත් කාර්යයන් රැසක් ජනමාධ්‍යයෙන් ඉටු කෙරෙන බව අවබෝධ කර ගත යුතු ය. ඉහත සඳහන් මූලික කාර්යයන් අතරින් මෙම ලිපියේ දී අවධානය යොමු කෙරෙනුයේ  තොරතුරු සම්පාදනය යන්න වෙතයි. 21 වන සියවස තරණය කරමින් සිටින වර්තමාන ලෝකය තාක්ෂණයේ දියුණුවට සමගාමීව ඉදිරියට ගමන් කරයි. අතීතයේ දී ට වඩා වේගයෙන් නවතම තොරතුරු ලෝකයට විවෘත්ත වන ස්වභාවයක් පවතීයි. ඕනෑ ම පුද්ගලයෙකුට ලෝකයේ ඕනෑ ම ස්ථානයක සිට ක්ෂණයකින් තොරතුරු වෙත ලගා වීමේ හැකියාව ලැබී ඇත්තේ අන්තර්ජාලයේ ව්‍යාප්තිය හේතුවෙනි. සතර දිග  ඕනෑ ම තැනක සිදුවන සිදුවීමක් කඩිනමින් දැන ගැනීමට සෑම පුද්ගලයෙකු ම උත්සුක වේ. ජනතාවගේ මෙම තොරතුරු අවශ්‍යතාව සපුරාලීමට සෑම රටකම ජනමාධ්‍ය ආයතන සැදී පැහැදී සිටීයි. මෙකී තොරතුරු සම්පාදන කාර්යයේ දී ජනමාධ්‍ය ආයතන භාවිත කරනු ලබන ප‍්‍රධාන මෙවලම වන්නේ ප‍්‍රවෘත්තිලෙස සඳහන් කළ හැකි ය.


          ප‍්‍රවෘත්ති (News) යනු කාලීන වශයෙන් වැදගත් වන්නා වූ (Timeliness) සේ ම මහජනයාට සමීප වූ (Contiguity) තොරතුරු වලින් සැදුම් ලද්දකි. ඒ පිළිබඳව විවිධාකාර නිර්වචන රැසක් දක්නට ලැබේ. ඒ අතරින් පුද්ගලයෙක් දෙයක් හෝ කිසියම් සිද්ධියක් පිළිබඳ අවධානයෙන් සලකා බලා වාර්තා කිරීමට සුදුසු උණුසුම් තොරතුරු ප‍්‍රවෘත්ති ය. යනුවෙන් ඔක්ස්ෆර්ඩ් ඩික්ෂණරිය (Oxford Dictionary) ප‍්‍රවෘත්ති යන්න අර්ථ ගන්වා ඇත.(වීරකෝන්,2006;04) ප‍්‍රවෘත්ති විවිධාකාරයෙන් පවතීයි. එය යම් සුවිශේෂ පුද්ගලයෙකු වටා ගොඩනැගෙන ලද්දක් විය හැකි ය. ඇතැම් විට එය යම් තැනක සිදු වූ විශේෂ  සිදුවීමක් විය හැකි ය. මෙලෙස විවිධාකාර මානයන් වෙත දිවෙන තොරතුරු ඇසුරින් නිර්මාණය වන ප‍්‍රවෘත්ති යන්න නිශ්චිත රාමුවක් තුළට සීමා කළ නොහැක්කකි. එය කාලීන ව වෙනස් වන ස්වභාවයකින් ද යුක්ත ය.  ප‍්‍රවෘත්ති පිළිබඳව ජනතාව උනන්දුවෙන් සිටින අතර ඔවුන්ට යම් බලපෑමක් සිදු කෙරෙන, ඔවුන් තුළ කුතුහලයක් ඇති කිරීමට සමත් වන නවත ම තොරුතුරු වලින් සමන්විත ප‍්‍රවෘත්ති කෙරෙහි වැඩි ග‍්‍රාහක අවධානයක් යොමු වීම නිසගයෙන් ම සිදු වේ. මෙසේ වූ ප‍්‍රවෘත්තියක් යම් විශේෂ සිදුවීමක් (Event), එසේ නැතහොත් යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් ඉදිරිපත් කළ අදහසක් (Idea ) හෝ විවිධ සිදුවීම්, රජය ගනු ලැබූ තීන්දු තීරණ ආදී තොරතුරු පිළිබඳව ඉදිරිපත් වූ මතයන් (Opinion) ඇසුරින් ප‍්‍රවෘත්ති නිර්මාණය වේ. ලොව පුරා විසිරී පැතිරී ඇති ප‍්‍රවෘත්ති ග‍්‍රාහක ගත වීමට නම් ඒවා වාර්තා කළ යුතු ය. එකී කාර්යය වත්මන් ජනමාධ්‍ය වාඩාත් පුළුල් ලෙසත් තරගකාරී ලෙසත් ඉටු කිරීම අද දක්නට ලැබෙන කරුණකි. ඉහතින් දක්වන ලද කරුණු වලට අමතරව ප‍්‍රවෘත්තියක වටිනාකම තීරණය කිරීමේ දී වැදගත් වන කරුණු රැසකි. ඒ අතරින් යුනෙස්කෝ සන්නිවේදන විශේෂඥ පෝල් ඩී. මැසෙනියර් (Paul De Maseneer) හඳුන්වා දෙන ලද ABC න්‍යාය” ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ දී විශේෂ අවධානය යොමු කළ යුත්තකි. 


        A                +             B        +              C               =                    C
  Accuracy       +    Balance    +       Clarity     =        Credibility  
   (නිරවද්‍යතාව) + (සමබර බව) + (නිරවුල් බව)     =   (විශ්වසනීයත්වය)
                                                                                              
                                                                                                (දෑරංගල,2004;77)

ප‍්‍රවෘත්තියකින් ග‍්‍රාහකයා තුළ විශ්වසනීයත්වයක් නිර්මාණය වේ. එකී විශ්වසනීයත්වය ගොඩනැගෙනුයේ නිරවද්‍යතාව, සමබර බව සහ නිරවුල් බව යන ඉහත සඳහන් කරුණු ඔස්සේ බව මැසෙනියර් පෙන්වා දෙයි. ජනමාධ්‍යයෙන් ලබාදෙන තොරතුරු කෙරෙහි ජනතාව විශ්වාසය තබා ඇත. ඉන් සෑම විට ම ලබා දෙන තොරතුරු විවිධ වූ වයස් මට්ටම් සේම විවිධ වූ අධ්‍යාපන මට්ටම් වල පිරිස් නරඹයි. ඇතැම් විට හරි වැරුද්ද හෝ එහි සත්‍ය අසත්‍යාතාව විමසා කි‍්‍රයා කිරීමට ග‍්‍රාහකයා සතු දැනුම ප‍්‍රමාණවත් නොවිය හැකි ය. මේ හේතුවෙන් නිවැරදි වූත්, සත්‍ය වූත් තොරතුරු ජනතා ගත කිරීම ජන මාධයයන්හි වගකීමක් කොට සැලකිය යුතු වේ. ජනතා සාමය කඩ නොවන ලෙස අසත්‍ය නොවන තොරතුරු කිසිදු පාර්ශවයකට පක්ෂපාතී නොවී සමබර ලෙස ඉදිරිපත් කළ යුතු අතර ම එම තොරතුරු  ඕනෑ ම පුද්ගලයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි සරල භාෂා රටාවක් අනුගමනය කළ යුතු ය. ප‍්‍රවෘත්තියට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමේ දී නෛතික පිළිගැනීමක් සහිත හෝ විශ්වසනීය මූලාශ‍්‍ර යොදා ගැනීමෙන් ප‍්‍රවෘත්තියේ වටිනාකම ඉහළ නංවා ගත හැකි ය.

          ඉහතින් සඳහන් න්‍යායාත්මක කරුණු සඳහා ප‍්‍රායෝගික භාවිතයන්හි දී ජනමාධ්‍ය ආයතන කෙතරම් දුරට සාධාරණයක් ඉටු කරන්නේ ද යන්න විමසා බැලිය යුත්තකි. ඒ සඳහා ශී‍්‍ර ලංකාවේ දැනට ක‍්‍රියාත්මක ජනමාධ්‍ය අතරින් මුද්‍රිත මාධ්‍ය ආයතනයක් ලෙස ලේක්හවුස් ආයතනයෙන් එනම් රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන දිනමිණ පුවත්පත හා විද්‍යුත් මාධ්‍ය අතරින් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ලෙස හිරු ටී.වී. නාලිකාව ඇසුරින් වත්මන් මජනමාධ්‍ය විසින් ප‍්‍රවෘත්ති වාර්තා කරණ ස්වභාවය පිළිබදව අධ්‍යයනය කෙරේ. ඒ සඳහා දෙමටගොඩ දී තරුණයෙකු පැහැරගැනීම” යන ප‍්‍රවෘත්තිය  සම්බන්ධයෙන් උක්ත සඳහන් දිනට අදාළව තොරතුරු වාර්තා කර ඇති ආකාරය මෙසේ විමසා බැලිය හැකි ය.

           දිනමිණ පුවත්පතේ හා හිරු ටී.වී. හි ප‍්‍රධාන සිරස්තල අතරට දෙමටගොඩ සිදුවීම ඇතුළත් ව පැවතුණි. මෙම මාධ්‍ය ආයතන විසින් ඉහත සිදුවීම වාර්තා කළ ස්වභාවය අංශ කිහිපයක් මූලික කොට ගනිමින් ඒ ඔස්සේ මෙහි දී විග‍්‍රහ කෙරේ. එනම්,

·        ප‍්‍රවෘත්ති ඉදිරිපත් කර ඇති කෝණය
·        ප‍්‍රවෘත්ති මූලාශ‍්‍ර සැපයීම
·        ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ සමබර බව

          යන අංශ වෙත මෙහි දී වැඩි අවධානයක් යොමු කෙරෙන බව පැවසිය යුතු ය.

Ø ප‍්‍රවෘත්ති ඉදිරිපත් කර ඇති කෝණය

          මෙයින් අදහස් කරනුයේ ප‍්‍රවෘත්තියට අදාළ සිදු වීම් පිළිබඳව විස්තර දැක්වීමේ දී ඊට සම්බන්ධ යම් පාර්ශවයකට ඍජුවම හෝ වක‍්‍රාකාරයෙන් බලපෑමක් සිදුවේ ද යන්නයි. යම් පාර්ශවයකට පක්ෂපාතී ව තොරතුරු වාර්තා කරන්නේ නම් මාධ්‍ය ආචාර ධර්ම කඩ කිරීමක් වන අතර එය සදාචාර සම්පන්න නොවන ක‍්‍රියාවකි. එසේ වූව ද සත්‍ය තොරතුරු ජන ගත කිරීමට ජන මාධ්‍ය සතුව සුවිශේෂී වගකීමක් වන හෙයින් ලාභය, පෞද්ගලික හෝ දේශපාලනමය වැනි පටු අරමුණු වෙනුවෙන් සත්‍ය තොරතුරු ජනතාවගෙන් වසන් කිරීම හෝ ඇතැම් තොරතුරු අතිශයෝක්තියෙන් ඉදිරිපත් කිරීම හේතුවෙන් ප‍්‍රවෘත්තියේ විශ්වසනීයත්වය ගිලිහී යාම සිදු වේ.

දිනමිණ පුවත්පත මෙම සිරස්තලය

          හිරුණිකා ගැන නීති උපදෙස් පතයි”

යනුවෙන් ප‍්‍රධාන සිරස්තල අතරට එක් කොට තිබූ අතර හිරු ටී.වී. නාලිකාව එම සිරස්තලය

          හිරුණිකාගේ ඩිෆෙන්ඩරයෙන් තරුණයා පැහරගත් සිද්ධියට තවත් දෙදනෙකු අත්අඩංගුවට

          ලෙස ඉදිරිපත් කරන ලදි. සිරස්තල දෙස හොඳින් අවධාවය යොමු කිරීමේ දී ම ප‍්‍රවෘත්ති ඉදිරිපත් කර ඇති කෝණය පිළිබඳව දළ අදහසක් නිරූපිත ය. එනම් හිරු නාලිකාව හිරුණිකා මන්ත‍්‍රීවරිය මෙම සිදු වීමට ඍජුව ම සම්බන්ධ බව එතෙක් අධිකරණය මගින් තහවුරු වී නොමැති වූවද ඒ බැව් දැඩිව ඇගවෙන ලෙස සිරස්තලය යොදා ඇති නමුත් දිනමිණ පුවත්පත සිරස්තලය යොදා ඇති ස්වරූපය අනුව සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේ දී පවතින එනම් යථා තත්ත්වය නිරවුල්ව දක්වා ඇත. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරන ලද පරීක්ෂණයේ වාර්තාව නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම ඒ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පැවති තත්ත්වයයි.

          දෙමගොඩ සිදුවීම පිළිබඳව ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී මෙම මාධ්‍ය ආයතන අතරින් දිනමිණ පුවත්පත සිද්ධියේ වර්ථමාන තත්ත්වය පැහැදිලි කරමින් ප‍්‍රවෘත්තිමය වටිනාකම රැකෙන ලෙස සිරස්තලය යොදා ඇති අතර හිරු නාලිකාව සිරස්තලයෙන් ඉස්මතු කර ඇත්තේ ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදනෙකු අත්අඩංගුවට ගත් බවයි. මේ අනුව පැහැදිලි වන්නේ දිනමිණ පුවත්පත මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රවෘත්තිමය කෝණයකින් තොරතුරු වාර්තා කොට ඇති අතර හිරු නාලිකාව තරමක් විෂම කෝණයක් අනුගමනය කර ඇති බවයි.

Ø ප‍්‍රවෘත්ති මූලාශ‍්‍ර සැපයීම

          ප‍්‍රවෘත්තියක් ග‍්‍රාහක ගත කිරීමේ දී ප‍්‍රවෘත්ති මූලාශ‍්‍ර දක්වනුයේ එහි ඉදිරිපත් කර ඇති තොරතුරු වල සත්‍යතාව ග‍්‍රාහකයාට ඒත්තු ගැන්වීම උදෙසා ය. ප‍්‍රවෘත්ති මූලාශ‍්‍ර (Source) යනු ප‍්‍රවෘත්තියට අදාළ තොරතුරු ලබා ගන්නා ක‍්‍රමයන් ලෙස මෙහි දී අර්ථ දැක්වීය හැකි ය. වාර්තා කරුවන්, පුද්ගල සම්බන්ධතා, සම්මුක සාකච්ඡා සේම මාධ්‍ය සාකච්ඡා ආදී ලෙසින් මූලාශ‍්‍ර රැසක් දක්නට ලැබේ. මෙකී මූලාශ‍්‍ර ඔස්සේ තොරතුරු වල නිවැරදි භාවය තහවුරු වීමෙන් ජනතාව තුළ විශ්වසනීයත්වයක් ගොඩනැගෙන්නා සේ ම මාධ්‍ය ආයතනයට නීතිමය රැකවරණය ද හිමි වේ. එනම් නීත්‍යනුකූල මූලාශ‍්‍ර විශ්වාසයෙන් යුතුව යොදා ගත හැකි බැවින් අසත්‍යය තොරතුරු ඉදිරිපත් වීමක් ද සිදු නොවේ. එය තම ආයතනය පිළිබඳව මහජන ප‍්‍රසාදය ඇති වීමට ද හේතු වන්නකි.

          දිනමිණ පුවත්පත දෙමගොඩ සිදුවීම පිළිබඳව වාර්තා කිරීමේ දී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතාගේ ප‍්‍රකාශය මූලාශ‍්‍ර කොට ගනිමින් සිද්ධිය සම්බන්ධ වැඩි දුර තොරතුරු ඉදිරිපත් කොට ඇත. පැහැරගත් තරුණයා පොලීසියට ඉදිරිපත් පැමිණිල්ලට අනුව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරිය මෙම සිද්ධියට සම්බන්ධ බවත්, ඒ පිළිබඳව ඇයගෙන් ප‍්‍රකාශ සටහන් කර ගනිමින් සිදු කළ පරීක්ෂණ වාර්තාව නීතිපති වරයා වෙත ඉදිරිපත් කොට එම නියෝග අනුව ක‍්‍රියාකිරීමට අපේකෂිත බවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයාගේ ප‍්‍රකාශය අනුව නිරවුල් හා පැහැදිලි නමුත් සංක්ෂිප්ත වූ විස්තරයක් පුවත්පතේ සඳහන් ව ඇත.

          එසේ නමුත් මූලාශ‍්‍ර දැක්වීමේ අංශයෙන් පුවත්පතට වඩා සුවිශේෂී දැක්මක් හිරු නාලිකාව සතු බව පැහැදිලි කරුණකි. සිද්ධිය සම්බන්ධව වත්මන් තත්ත්වය, පොලීසියට ලැබී ඇති තොරතුරු, ඒ සඳහා මේ වන විට ගෙන ඇති ක‍්‍රියාමාර්ග ආදී තොරතුරු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා මූලාශ‍්‍ර කොට ගනිමින් ඔහුගේ හඩ පට (Voice cut) ද ඉදිරිපත් කරමින් ඉතාමත් නිරවුල ව හා පැහැදිලි ලෙස තොරතුරු සපයා ඇත. ඉන් නොනැවතී සිදුවීමට අදාළ සාක්ෂි ලෙස ගතහැකි සී.සී.ටී.වී දර්ශන පට පවා ඉදිරිපත් කර ඇත. හුදෙක් ප‍්‍රවෘත්ති වාර්තාකරණයෙන් නොනැවතී ඉන් ඔබ්බට ගොස් ගවේශනාත්මක වාර්තාකරණයට හිරු නාලිකාව යොමු වී ඇති ප‍්‍රවනතාවක් දක්නට ලැබෙන බව මේ අනුව තහවුරු වේ. එය ඉතා යහපත් ලක්ෂණයකි. මන්දයත් පාලක පක්ෂය විසින් තම දේශපාලන බලය අවියක් කොට ගනිමින් සමාජ සදාචාරයට පටහැනි, නීතියට පටහැනි ක‍්‍රියා වල නිරත වීම අවම කිරීමට හෝ පාලනය කිරීමට මෙවන් ගවේෂණාත්මක වාර්තාකරණය හේතු වේ. වැරදි කළ විට සමාජය ඒ පිළිබඳව දැනගැනීමෙන් තම ප‍්‍රතිරූපයට හානි සිදු වේ යැයි ඇති වන බිය නිසා එවන් ක‍්‍රියාවන් ගෙන් වැලකීමට සෑම පුද්ගලයෙකු ම යොමු වේ. තව දුරටත් මේ පිළිබඳ අවධානය යොමු කරමින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා මෙම සිදුවීමෙන් හිරුණිකා මන්ත‍්‍රීවරිය බේරා ගැනීමට උත්සාහ ගන්නේ දැයි ඒ වන විට සමාජයේ පැවති කථිකාව පිළිබඳව ද අවධානය යොමු කොට ඇත. ඊට ඔහුගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවක දී කළ ප‍්‍රකාශය ද මෙම ප‍්‍රවෘත්තියට එක් කොට තිබිණි. 

 මෙලෙස හිරු නාලිකාව සිද්ධියට අදාළ කරුණු කාරණා රැසක් ඉතාමත් නිරවුල්ව, සාක්ෂි, සාධක සහිතව ගවේශනාත්මකව වාර්තා කර තිබීම ජනතාවගේ සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ද හේතු වන්නක් බව පැවසිය යුතු ය. ඔවුන් විශ්වාසදායී මූලාශ‍්‍ර කිහිපයක් යොදා ගත්තද දිනමිණ පුවත්පත යොදාගෙන ඇත්තේ එක් මූලාශ‍්‍රයක් පමණි.

Ø ප‍්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ සමබර බව

          මෙයින් අදහස් කරනුයේ සිදුවීමට සම්බන්ධ හෝ ඊට අදාළ සියළු ම පාර්ශවයන්ට සමානව නැතහෝත් සමබර ලෙස තොරතුරු දැක්වීමයි. හිතාමතා ම යම් පාර්ශවයකට අගතියක්, අවාසියක් හෝ වාසි සහගත වන ලෙස ප‍්‍රවෘත්ති වාර්තා කිරීම මාධ්‍ය සදාචාරයට පටහැනි ක‍්‍රියාවකි. එසේ ම එය දියුණු මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය වීමට ප‍්‍රබල බාධාවකි.

          දිනමිණ පුවත්පත දෙමටගොඩ සිදුවීම පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේ දී සමබර වන ලෙස එනම් හිරුණිකා මන්ත‍්‍රීවරියට අවාසි සහගත වන ලෙස හෝ ඇයට වාසි සහගත නොවන ලෙස සාධාරණ ව නමුත් විශ්වසනීයත්වය ගොඩනැගෙන ලෙස වාර්තා කොට ඇති බවක් දක්නට ලැබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකශකවරයාගේ කරුණු දැක්වීමේ දී පවා සත්‍ය තොරතුරු ඒ ආකාරයෙන් ම අතිශයෝක්තියෙන් තොරව සඳහන් ව ඇත. පරීක්ෂණ වාර්තා අධිකරණයට යොමු කිරීමෙන් අනතුරුව ලැබෙන නියෝග අනුව නීතිය ක‍්‍රියාත්මක කෙරෙන බව එම ප‍්‍රවෘත්තියෙන් තහවුරු කර ඇත. විශේෂයෙන් රාජ්‍ය මාධ්‍යක් වන දිනමිණ පුවත්පත පවතින රජයේ සාමාජිකයන්ගේ ක‍්‍රියාකාරකම් සාධාරණීකරණය කිරීමේ දේශපාලන අතකොළුවක් බවට පත් නොවී යහපත් මාධ්‍යකරණයක නිරතවීම සතුටට කරුණකි.

          මේ අතර හිරු ටී.වී. නාලිකාව මෙම ප‍්‍රවෘත්ති සඳහා විශේෂ අවධානයක් යොමු කළ බවක් දක්නට ඇත. එදින රාත‍්‍රී හත ප‍්‍රවෘත්ති විකාශන කාලයෙන් සැලකිය යුතු විශේෂ කාලයක් මෙම ප‍්‍රවෘත්තිය සඳහා වෙන් වී තිබීම අවධානය යොමු කළ යුත්තකි. ප‍්‍රවෘත්තිමය අගයෙන් සමන්විත සියලු තොරතුරු වලට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන වලට අයත් විවිධ පුද්ගලයන් ඉදිරිපත් කළ අදහස් රැසක් ද ඉදිරිපත් කරන ලදි. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ ප‍්‍රකාශය අනුව හිරුණිකාට එක නීතියකුත්, මහින්දට තවත් නීතියකුත් ක‍්‍රියාත්මක යැයි පවසා දණ්ඩ නීති සංග‍්‍රය එකතු කොට මඩු වලිගයකින් ගැසිය යුතු බවට හිමියෝ පවසන ලදි. ආචාර්ය නිර්මාල් රංජිත් මහතාගේ අදහස් දැක්වීම අනුව හිරුණිකා බලයට පත් වූයේ මහජන අනුකම්පාවෙන් බව පවසමින් දැඩි ලෙස ඇය විවේචනය කළ අතර ඉන් නොනැවතී පෙරටුගාමී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතාගේ අදහස් දැක්වීම අනුව ද හිරුණිකාට ලැජ්ජ නහරය නැති බව පවසමින් දැඩි විචේනාත්මක අදහස් පමණ ඉක්මවා යොදා ගැනීමෙන් පැහැදිලි වන්නේ හිරු නාලිකාව සමබර බව බිඳි යන ලෙස මෙම ප‍්‍රවෘත්තිය වාර්තාකර තිබූ බව ය. හිරුණිකා මන්ත‍්‍රීවරියට අදාළ මෙම සිදුවීම සිතාමතා ම ඉස්මතු කර දක්වමින් ඇය කළ වරද විවේචනය කිරීමටත් වඩා ඇයට අපහාස කිරීමට උත්සුකව ක‍්‍රියා කර ඇති බවක් දක්නට ඇත. එසේ විවිධ පුද්ගලයන්ගෙන් ලබා ගත් ප‍්‍රකාශ සඳහා ඉඩ හසර වෙන් කෙරුන ද චෝදනා ලැබ සිටින පාර්ශවයට කරුණු දැක්වීමට මෙහි දී කිසිදු අවස්ථාවක් ලබා නොදීම ප‍්‍රබල දුර්වලතාවයකි. ගවේශනාත්මකව නිවැරදි වූත්, සත්‍ය වූත් තොරතුරු ජනතාව වෙත ඉදිරිපත් කිරීම මාධ්‍ය වගකීමක් වුව ද පෞද්ගලික හෝ දේශපාලනමය වාසි තකා යම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට හෝ වේවා පහර ගැසීම නොදියුණු මාධ්‍ය සංස්කෘතියක ලක්ෂණයකි.

          මෙම විග‍්‍රහය දෙස අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වන කරුණක් නම් ප‍්‍රවෘත්ති සම්බන්ධ න්‍යායන් අතරින් සමහරක් ප‍්‍රායෝගික නොවන බවයි. රාජ්‍ය මාධ්‍යක් වන දිනමිණ පුවත්පත සමබර ලෙසත්, නිරවද්‍යතාව රැකෙන පරිධි වඩාත් ඔබින වූ විස්තර තොරා ගනිමින් ප‍්‍රවෘත්තිමය අගය සුරක්ෂිත වන ලෙස මෙම ප‍්‍රවෘත්තිය වාර්තා කොට ඇති බව දක්නට ඇත. හිරු නාලිකාව මෙම පුවත වාර්තා කළ ස්වභාවය විමසීමේ දී මෙම ප‍්‍රවෘත්තිය විශේෂ කොට වාර්තා කර ඇති ස්වරූපයක් දිස් වේ. නමුත් එයට අදාළ සත්‍ය තොරතුරු ගවේශනාත්මක ව ගෙනහැර දැක්වීම සාර්ථක මාධ්‍ය මෙහෙවරක් ලෙස සඳහන් කළ හැකි ය. එම තත්තවය මෙවන් සිදුවීම් වලට පමණක් සීමා නොවී සෑම සමාජ අසාධාරණයක් ම, සෑම සමාජ විරෝධී ක‍්‍රියාවක දී ම පවත්වාගත හැකි වන්නේ නම් සතුටට කරුණකි.

          ඉහත කරුණු සියල්ල දෙස අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වන්නේ ජනමාධ්‍ය තම පෞද්ගලික අරමුණු මුදුන්පත් කරගනිමින් මාධ්‍ය හසුරවන බවයි. එසේ නොවී සෑම අවස්ථාවකදීම සමබර ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමෙන් සමාජ අයිතීන් මැනවින් තහවුරු වන අතර දියුණු වූ මාධ්‍ය සංස්කෘතියක් වර්ධනය කර ගැනීමෙන් සාරවත් සමාජ ජීවිතයක් ගත කිරීමට අවකාශය හිමි වේ.

v ආශ‍්‍රිත ග‍්‍රන්ත

          1.     දෑරංගල, සුනිල් විශ්වනාත්. (2004). පුවත්පත් මාධ්‍යය සන්නිවේදන ලිපි සමුච්චය. සහස‍්‍ර           ප‍්‍රකාශකයෝ, කොළඹ 10.
          2.     වීරකෝන්, ඉන්දික. (2006). රූපවාහිනී ප‍්‍රවෘත්තිකරණය. ඇස් ගොඩගේ සහ                           සහෝදරයෝ, කොළඹ 10.

v අධීක්ෂණය :-
ආචාර්ය රංග කලංසූරිය
v සැකසුම :-
ජී.ජී.ලෂිකා ශාමලී වික‍්‍රමපාල
AR/67914
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය
මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

 https://mageeasin.blogspot.com/dematagoda incident